Featured

Monday, November 6, 2017

පියවි

image-from

                                තදින් වැහි වැටෙන සවසක ඉරත් හැංගෙනා ඉක්මන
                                විහඟුන්  අහස අතහැර නවාතැන් සොයන අන්දම
                                අරගලයෙ ලෙය වැහි දිය සමඟ එක් වෙනා ගොම්මන
                                නිදහසද ඉමක නවතිනු ඇතයි කී නුඹෙ මතක පෙම්බර

                                බැඳෙන්නට තබා අතැඟිලි සිතින්වත් නොඅල්ලා හිඳ
                                නොහැකි වෙද පෙමක් පවතිනු සිනා වත බලා සැනසෙන
                                ඇසූ සඳ තවත් ලං වී සුසුම් ලූ නුඹේ හසරැලි
                                මතක් කරනවා මැයි ගස් මතක මං පෙතෙහි වම් පස
                                
                                විඳීමක නොමැති පහසක් සිතීමක තිබෙනු නොහැකිද
                                සුවඳ බඳු නුඹ ළඟින් නැති විටත් දැවටෙනා
                                තැවෙන්නේ මන්ද හදවත කුටුම්බය දකිද්දී නුඹෙ                                                        
                                නිදහසම ප්‍රේමයද ? සිතිවිලි දෝංකාර දේ

පසුබිම : No one is free, even the birds are chained to the sky ~Bob Dylan

Sunday, November 2, 2014

අහිමි

image-from

හාත්පස ඝන අඳුර වපුරා
වැටෙන වැහි කාලයක් තිස්සේ
දරා ගන්නට නොහැකි මොහොතේ
ගලා යන ලෙස ඉවුරු බිඳගෙන
ළයේ මා හිස හොවා කඳුළින්
දොවාලයි හදවත රිදුම් දෙන

ඉතාමත් දුර ඈත අහසට
යොමා දෑසම බලාගෙන නුඹ
හිඳිද්දී සිර ගත විලාසෙන්
කිරිල්ලියෙ කෙලෙසක දරන්නද

නුඹේ ප්‍රේමය දරා ගන්නට
මගේ හදවත කුඩා වැඩි බව
පසක් කළ  ගෙවුණු කාලය
අතරමග මඟ හැරුණු ආලය


පසුබිම : අග පිපි මල් නවකතාව (සුමිත්‍රා රාහුබද්ධ ), එහිම නාට්‍ය තේමා ගීතය

Wednesday, July 23, 2014

උයන

image-from

හිතට හිතෙන හඬ අහන්න මල් නොපිපෙන උයනේ
කටු වලටත් නොරිදෙන්නට පය තියන්න අකුලේ
මිහිදන් කල පෙමක පුරා වත කියන්න රහසේ
හිතං උන්නේ නුඹ ගියාද මටත් නොකිය අඳුරේ

පොදක් විඩා නිවා ගන්න අතර මඟදි රැඳුණා
උණත් නුඹට කටු අකුලේ මලක් වෙන්න තිබුණා

අවන්හලත් නිදි වැදුණා සඳ මුදුනට ආවා
මලක් මඟදි මුණ ගැසුණා නුඹද කියා සිතුණා

Related Posts Plugin for WordPress, Blogger...